ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා අනූපමේය සේවයක් සිදු කර දිවංගත වූ රාජ්‍යනීතීඥ එච්. නිශ්ශංක මැතිතුමා වාසභූමිය කරගත් යමුනා මන්දීරය 50 වෙනි දශකයේ නව දේශපාලන ප්‍රගමනයක තිඹිරි ගෙය බවට පත්විය. ඒ ඓතිහාසික යමුනා මන්දීරය 2008 පෙබරවාරි 26 වෙනි දින රාජ්‍යනීතීඥ එච්. නිශ්ශංක මැතිතුමා ගේ කණිටු දියණිය වන ගීතා ශ්‍රී නිශ්ශංක මැතිණිය විසින් ශ්‍රී සම්බුද්ධ ශාසනයට පූජා කරන ලදී.
මෙරට සුප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක් මෙන්ම, ග්‍රාම සංවර්ධන වැඩ පිළිවෙල, මැලේරියා මර්දන ව්‍යාපාරය, ධර්මදූත වැඩ පිළිවෙල ආදී සුවිශාල සමාජ මෙහෙවරක් සිදුකොට අපවත් වී වදාළ පරම පූජ්‍ය හීනටියන ධම්මාලෝක තිස්සාභිධාන මහානායක හිමිපාණන් වහන්සේ ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන අති පූජ්‍ය හීනටියන න්නද තිස්සාභිධාන අමරපුර මහානිකායේ අඹගහපිටි පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පරපුරට ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහා ආගමික මෙහෙවර ස්ථාපිත කරන්නට ධර්මය බෙදා හරින මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට මෙම උතුම් ආරාම පූජාව සිදු කරන්නට විය.
2008. 02. 26 වෙනි දින ශ්‍රී සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරමින් අති පූජ්‍ය හීනටියන න්නද තිස්ස මහානායක මාහිමිපාණන් වහන්සේගේ ආධිපත්‍යයටත්, පූජ්‍ය කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමිපාණන්ගේ අධිකාරීත්වයටත්, පත් කොට ගීතා ශ්‍රී නිශ්ශංක මැතිණිය පූජා කරන්නට යෙදුන යමුනා මන්දීරය හා භූමිභාගය අද වන විට “ශ්‍රී යමුනා සදහම් ආරාමය“ නමින් රමණීය වූ විහාරයක් බවට පත් වී ඇත.
සැවැත් නුවර ආනන්ද බෝධීන් වහන්සේගේ ශාඛාවක්ද, ශ්‍රී සම්බුද්ධ ජයන්ති චෛත්‍ය රාජයාණන් වහන්සේ ද, දෙමහල් ධර්ම ශාලාව හා සංඝාවාසය ද එම භූමි භාගය තුළ ඉදි කළ අතර, මේ වන විට ධර්මදේශනා, ධර්මසාකච්ඡා, බුද්ධ වන්දනා හා භාවනා වැඩ සටහන් රාශියක් සිදු කරමින් බොදු මහා ජනතාවට සුවිශාල මෙහෙවරක් සිදු කරනු ලබයි.